ආපසු යන්න

රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ස්වර්ණමාලී මහා සෑ රදුන් මත තැන්පත් කිරීම

ව්‍යාපෘතිය

අප මහා අමාමෑණි බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්බුද්ධ රාජ්‍යයට සම්ප්‍රාප්ත වූ දඹදිව බුද්ධගයාවෙහි වැඩ සිටින විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ, වජ්‍රාසනය මූලික රන් වැට ඇතුළු ශුද්ධ වූ බෝධි පරිශ්‍රය ශ්‍රී ලංකාවේ විශ්ව පාරමී පදනම විසින් රන් ආලේප කිරීමෙන් අනතුරුව, 2018 ජුනි මස 30 වන දින බුදු සසුන වෙත පූජා කිරීමේ මහා පිංකම, අති පූජනීය සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය සද්ධර්ම ජෝතික ධජ අතිපූජනීය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්ථවිරයන් වහන්සේ විසින් සියැසින් දැක වැඳ පුදා ගනුලැබූ සේක.

පසුව උන්වහන්සේ විසින් විශ්ව පාරමී පදනමේ පූර්ණ දායකත්වයෙන් සහ මෙහෙයවීමෙන් ඉතා අංගසම්පුර්ණ ලෙස සිදු කළ ඒ මහා පිංකම පිළිබඳව පැහැදී, මතු වූ විශ්වාසය සහ ජනිත වුණා වූ බුද්ධාලම්භන ප්‍රීතිය හේතුවෙන්, පූජනීය සංඝමිත්තා රහත් භික්ෂුණීන් වහන්සේ විසින් වැඩම වූ සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුර පුණ්‍යමය නගරයෙහි මනරම් මහමෙව්නා උයනේ තේජාන්විතව සහ ගරු ගාම්භීර ලෙස වැඩ සිටින්නා වූ ඒ අති උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව මූලික කොට ගනිමින් පිහිටුවා ඇති බෝධි ප්‍රාකාරය අඩි තුනකින් ඔසවා ශෛලමය ප්‍රාකාරයක් ලෙස ඉදි කිරීමේ සහ පැවති රන්වැටවල් දෙක සහ සෙසු ආධාරක කණු අවපැහැ ගැන්වී දුර්වර්ණව පැවතීම හේතුවෙන් යළි එකී පූජනීය වස්තූන් රන් ආලේප කිරීමේ මහා භාරධූර කාර්යය විශ්ව පාරමී පදනම වෙතම පවරන ලදී.

ඒ මහා පිංකම අතිවිශිෂ්ඨ ලෙස සහ අතිශය වගකීමෙන් යුක්තව සිදුකොට,  2019 මැයි මස 11 වන දින සම්බුද්ධ ශාසනය වෙත පූජා කළ ආකාරය පිළිබඳව පැහැදී සිටින අවස්ථාවේදී, ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු රජතුමා විසින් නිධන් කරන ලද බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින මෙම අසිරිමත්, අසදෘශ ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ශීර්ෂ මස්තකයේ වැඩ සිටි, පළුදුව තිබූ චුඩා මාණික්‍යය ඇතුළු පාදම වෙනුවට ඉතා වටිනා චූඩා මාණික්‍යක් ඇතුළු රත්තරන් පාදමක් අලුතින්ම සවි කිරීම සඳහාත්, දුර්වර්ණව සහ දුබලව තිබූ කොත් වහන්සේ යළි පිරිසිදු රනින් ඔපවත් කිරීම සඳහාත්, විශ්ව පාරමී පදනම විසින් අති පූජනීය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක අටමස්ථානාධිපති ආචාර්ය සද්ධර්ම ජෝතික ධජ අති පූජනීය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්ථවිරයන් වහන්සේගෙන් කළ ඉල්ලීමකට අනුව, ඒ සඳහා උන් වහන්සේ විසින් විශ්ව පාරමී පදනම වෙත අනුමැතිය ලබා දෙන ලදී.

එම අනුමැතිය දොහොත් මුදුනින් පිළිගත් විශ්ව පාරමී පදනම ස්වභාවික මැණික් ගල් 5320 කින් යුත් දඹ රනින් නිම කළ රන් පාදම සහිත ඔස්ට්‍රියාවේ නිපදවන ලද දියමන්ති වලට නොදෙවෙනි රොක් ක්‍රිස්ටල් නම් පාෂාණයෙන් නිපදවන ලද චූඩා මාණික්‍යය නොවැම්බර් මස 18 වන දින සිට 20 වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙත් නොවැම්බර් මස 21 සහ 22 දෙදින පුරා  කුරුණෑගල ඇත්කඳ විහාරයේත් 22 වන දින පස්වරුවේ සිට 25 වන දින පෙරවරුව දක්වා ස්වර්ණමාලී සෑ රඳුන් අභියසත් ලක්ෂ සංඛ්‍යාත  සැදැහැවත් ජනතාවගේ  වන්දනාවට ඉඩ සලසා දුන් අතර මෙයට සමගාමීව ගෞරවණිය සංඝරත්නය විසින් 24 වන දින රාත්‍රියේ සිට 26 වන දින උදෑසන දක්වා තුන් තිස් පැයේ පිරිත් සජ්ඣායනාව පවත්වන ලදී.

YouTube හි අපව නරඹන්න

මෙම ලිපිය බෙදා ගන්න

ඔබ කැමති විය හැකි වෙනත් වැඩසටහන්

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය රත්නය සෑ මළුවේ සුගන්ධ කුටියෙහි තැන්පත් කිරීම

අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ රජ දරුවන් බුදුන් පුදන්නට නිමැවූ දෑස් අදහාගත නොහැකි විස්මිත නිම…